Monday, January 15, 2018

වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය සහ B157 මිනි සංචාරය


(මේ පෝස්ට් එකේ ප්‍රධාන මාතෘකා දෙකක් සාකච්ඡා වෙනවා. එකක් තමයි වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය. අනික තමයි මගේ අලුත් මිනි එක නිල වශයෙන් කාර් පිස්සුවෙ සංචාර වලට අත්පොත් තැබීම. මිනි එක ගැන විතරක් උනන්දු අය මුල සහ අග තියන, drive එක ගැන විස්තර විතරක් කියෙව්වට මගේ අහිතක් නැහැ).

"බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පස් යොදුන් කෝරළයේ වරකාගොඩ ගමේ මෙම ස්ථානය පිහිටා තිබේ. මාර්ග අංක 458 හොරණ සිට නෑබඩ හරහා මතුගම බසයෙන් මෙම ස්ථානයට පැමිණිය හැක." පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වෙන, 'පෞරාණික ස්ථාන සහ ස්මාරක' පොත් මාලාවේ 'කළුතර දිස්ත්‍රික්කය' පොතේ (ලියලා තියෙන්නේ ඉන්දික ගුණවර්ධන සහ චින්තක විජේතුංග) වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය ගැන විස්තර පටන් ගන්නේ එහෙමයි. කාර් පිස්සුවෙ රයිගම්පුර සවාරි වලදී මේ පොත බොහොම උපකාරී වුණු බව මතක් කරන්නේ බොහොම කෘතඥතා පූර්වකව...

රයිගම් පුරයේ පැරණි සිද්ධස්ථාන සහ වැදගත් පෞරාණික ස්මාරක ගැන විස්තර බොහොම අඩුයි. මම පතහවත්ත ගැන ලියපු ලිපියෙත් කිව්වා වගේ මේ ගැන අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් පවා විස්තර හොයාගන්න එක අමාරු වැඩක්. ටිකක් හරි විස්තර තියෙන්නේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ දැනට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහත්මයා පවත්වාගෙන ගිය (මම හිතන්නේ දැනට යාවත්කාලීන නොවෙන) බණ්ඩාරගම (bandaragama.wordpress.com) බ්ලොග් එකේ විතරයි. ඊට අමතරව අන්තර්ජාලයේ සමහර වාර්තා වැඩසටහන් තියනවා, නින්ද යන එක නවත්තන්න ඔළුවට ටොකු ඇන ඇන බලන්න වෙන ජාතියේ ඒවා.




මෙන්න මේ නිසයි අපි බණ්ඩාරගම සහ ඒ අවට, වඩාත් පැහැදිලිව කිව්වොත් අතීත රයිගම්පුරයට අයිති වෙන පැරණි ස්ථාන වලට ගිහින් ඒ ගැන සංක්ෂිප්ත විස්තර සහ ෆොටෝ ෆේස්බුක් එකේ දාන්න තීරණය කළේ. ඊට පස්සේ කාර් පිස්සුව බිහිවීමත් එක්ක මම මේ දෙක ඒකාබද්ධ කළා. සාමාන්‍යයෙන් සෘජුවම කාර් ගැන ලියන ලිපි තරම් ලොකු ප්‍රතිචාරයක් මට මේ සංචාරක සටහන් වලට ලැබෙන්නේ නැහැ. නමුත් මේවා ගැන අවංකවම හොයන අයට තව දීර්ඝ කාලයක් යනකල් මේ විස්තර ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.

මේ උත්සාහය එක්ක අපි පොකුණුවිට, ලෙනවර, පතහවත්ත, රමුක්කන, වීදාගම වගේ තැන් කීපයකටම ගියා. පොකුණුවිට සහ ලෙනවර ගිය කාලේ කාර් පිස්සුව බිහිවෙලා තිබුණේ නැති නිසා ඒ ගැන විශේෂ සටහනක් ලියවුණේ නැහැ. ඉදිරියේදී ඒ දෙක ආවරණය කරන්න අදහසක් තියනවා.

කාලෙක ඉඳන් වරකාගොඩ යන්න හිටියත් අධික වැඩ රාජකාරි නිසා ඒක කල් ගියා. දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක එළඹෙනකොට වැඩ පොඩ්ඩක් අඩු වුණු නිසා 9 ශ්‍රී 5333 එක්ක කන්දෙ විහාරේ ගිය වෙලාවක එහෙ කෞතුකාගාරයේදී වරකාගොඩ පන්සලේ ෆොටෝ එකක් දැකලා තමයි මේ ආසාව ආයේ මතුවුණේ. ඉතින් ඊට පස්සේ සතියෙම තකහනියක් වරකාගොඩ යන්න තීරණය කළා.




මේ ගමන යන එක මෙච්චර තදියන් වෙන්න තවත් හේතුවක් තමයි මිනි එකත් අරගෙන රයිගම් පුරයේ පාරක ඉගිල්ලෙන්න තිබුණු ආසාව. මිනි එක එළවන්න ගත්තු ගමන් ම මම එකෙ Handling වලට පිස්සු වැටුණා. Rear-engined rear wheel drive design එකක් තියන බීට්ල් ම එළවලා පත්තියන් වෙලා හිටපු මට Front-engined front wheel drive මිනි එක එළවන්න ගත්තම නිකං ජීවිත කාලයක් පූසෝ ඇතිකරපු මිනිහෙක් හදිස්සියේ බලු පැටියෙක් ගෙනාවා වගේ හැඟීමක් තමයි දැනුණේ. (වරදවා තේරුම් ගන්න එපා. යන යන තැන බල්ලෝ හුරතල් කළාට මම ඇත්තටම ආදරේ පූසන්ට. දැනට අපේ ගෙදර නොනිල ගෘහ මූලිකයෝ විදිහට කටයුතු කරන්නෙත් පූසෝ තුන්දෙනෙක්).

අපි වරකාගොඩ යන්න තෝරාගත්තේ හොරණින් අඟුරුවාතොට පාර. වරකාගොඩ පන්සලට යන්න Google maps වල වෙන පාරවල් කීපයක්ම දුන්නත් Street View දාලා බැලුවම මම B157 පාරට පිස්සු වැටුණා. නත්තල් කටේ තියලා හොරණ නගරේ හැදෙන ට්‍රැෆික් එක ගැන දැනගෙන හිටියත් බොහොම පොඩි දුරකින් ඒ නාගරික ගාලගෝට්ටිය ඉවර වෙලා පාර open වෙන බව අපට තේරුණා.




මීට කලින් මිනි එකේ කටුකුරුන්දේ ගිය නිසා සහ කටුකුරුන්ද ට්‍රැක් එකේ (රේස් පැද්දේ නැහැ) වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේත් සීයට ස්පීඩ් කරලා තිබුණු නිසා මිනි එක ක්‍රියාකාරීත්වය ගැන ඒ වෙනකොට පැහැදිලි අවබෝධයක් ඇවිල්ලයි තිබුණේ. ඒ නිසා එහෙන් මෙහෙන් රිංගන්න තියන ආසාව පාලනය කරගන්න සෑහෙන තදට අදිටන් කරගෙනයි හිටියේ. ඒ වගේම බණ්ඩාරගම පාරේදී 'නීතිය ඉදිරියෙන් පරිස්සමෙන් පලයාන්' කියලා අපට ප්‍රධාන විදුලි පහන් දල්වා ආදරයෙන් කියන සියලුම රියදුරන්ට හිස නමා ආචාර කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.

'පෞරාණික ස්ථාන සහ ස්මාරක' පොත් මාලාවේ පොතට අනුව වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය ඉදිකරලා තියෙන්නේ මානාභරණ, කීර්තු ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ කියන සහෝදරයෝ වික්‍රමබාහු රජ්ජුරුවන්ට විරුද්ධව යුද්ධ කරපු කාලයේදී කියලා මතයක් තියනවා. තවත් මතයකට අනුව මේක ඉදිකරලා තියෙන්නේ දඹදෙණියේ දෙවෙනි පැරකුම්බා රජ්ජුරුවන්ගේ කාලයේ හිටපු සුප්‍රසිද්ධ ඇමතියෙක් වෙන ප්‍රතිරාජ ඇමති.




කවුරු කෙරෙව්වත් ඒක හරි අපූරු, නිස්කලංක විහාරයක්. වාසනාවකට හොඳට ඉඩකඩ තියන භූමියක් නිසා මොඩර්න් බුද්ධාගමේ තොරොම්බල් වැඩ ටික (පෙරහැරවල්, මහා පූජා, යකඩ කටවල්, හිසතෙල් ගෑම්, දහම් පාසල් වගේ තවත් හැට හුටහමාරක් දේවල්) සිද්ධ කරන්න පන්සලේ ඉස්සරහට වෙන්න ඉඩ තියනවා. අපි යනකොටත් එතන පෙරහැරක් ඉවර වෙලාද කොහෙද ඉනිමං බැඳලා යකඩ බට ගැලවීම, ට්‍රැක්ටර් උඩ නැගලා බල්බ් වැල් ගැලවීම සහ ඉතුරු වෙච්චි කේක් රිලවුන්ට කන්න දීම වගේ දේවල් වෙමින් තිබුණා. ඒවා නොදැක්කා වගේ පහු කරගෙන තමයි අපි ටික ටික ඇතුළට ගියේ.




පන්සල ඇතුළට යන්න පියවර දෙක තුනකට හදපු, ගල් අතුරපු පුංචි පාරක් තියනවා. ඉස්සරලාම හම්බවෙන්නේ දහම් පාසලෙන් කරගෙන යන, ගස් කීපයකට නේම් බෝඩ් ගහපු පුංචි ඔසු උයනක්. ඒත් එක්කම වගේ ටිකක් එහායින් පුංචි පහේ විලක් වගේ එකක් පේන්න ගන්නවා. කොළම කොළ පාටින් වැහුණු උස් බිමක්, රිලවු නිසා හෙළවෙන අතුඉති, හුදෙකලා නාගරූප කැටයම, ඈතින් ගල්පඩි පේළියකට උඩින් සන්සුන්ව බලා ඉන්න පිළිම ගෙය සහ දේවාල කීපය වගේ දේවල් හිතට ගේන්නේ ආකියෝලොජිකල් ආනන්දයක්.








2003 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 'වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාර භූමියේ පිහිටි පැරණි ලෙන සහ දේවාල භූමිය' ආරක්‍ෂිත ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත්කරලා තියනවා. පිළිම ගේ ඇතුළට ගියාම පේන්න ගන්නේ සැදැහැවත් බෞද්ධයෙක්ගේ ඔළුව ඇතුළට රිංගුවා වගේ විචිත්‍ර ලෝකයක් කියලයි මට හිතුණේ. මේ පිළිම ගෙය ලංකාවේ වැඩියෙන්ම පිළිම තියන පිළිම ගෙය කියලා පන්සලේ හාමුදුරුවෝ එක්තරා යූටියුබ් වීඩියෝ එකකට කියලා තියනවා මම දැක්කා. මට මේක තහවුරු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ලිඛිත සාක්ෂි පෙන්නන්න විදිහක් නැහැ, මොකද මේක රිසර්ච් එකක් නොවන නිසා. හැබැයි මම දැකපු කිසිම පුරාණ විහාරේක මේ තරම් පිළිම නම් තිබුණේ නැහැ.















එළියේ තියන තව වැදගත් දෙයක් තමයි 1993 දී ආරම්භ වුණු ගල්ලෙන විහාර පරිසර පදනමෙන් ක්‍රියාත්මක කළා කියන ගල්ලෙන කන්ද වන වගා ව්‍යාපෘතිය. දිය අගල හරහා පුංචි ලී පාලමකින් එගොඩ වුණාම මේ කැලේ ඇතුළට යන්න පුළුවන්. මම හිතන්නේ මේ පාර අනික් පැත්තෙන් මතුවෙන්නේ එළියේ තියන කටාරම් කොටපු සහ පිළිම සහිත අනෙක් ලෙන ගාවින්.

මේ අනික් ලෙන ගාවදී දැනෙන්නේ ලංකාවේ පැරණි ප්‍රධාන රාජධානි වල නටඹුන් බලන්න ගියා වගේ හැඟීමක්. එතන පාළුයි (කොහොමත් මුළු විහාරයම පාළුයි). කලාතුරකින් කෙනෙක් ඇවිත් කළු වුණු මැටි පහනක් පත්තු කරලා, ඉතුරු වෙච්ච වතුසුද්ද මලක් පූජා කරලා, ඩුප්ලිකේට් අම්රිතා හඳුන් කූරක් පත්තු කරලා, තේරුම නොදන්න පාලි ගාථාවක් කියලා යන බවක් පේනවා. ඒ ඇරෙන්න ඒ හරිය සංසාරයේ කෑලි කැපෙන හුදෙකලාව සිහිපත් කරන තැනක් වගේ. සයිමන් නවගත්තේගම මහත්මයා ජීවත් වෙලා හිටියා නං මෙතනට ඇවිත් කිරි පැකට් බිබී (මතක හැටියට එතුමාට සීනි අඩුවෙන ප්‍රශ්නයක් තිබ්බා) නවකතාවක් ලියාවි.










මේක සංචාර බ්ලොග් එකක් හෝ ඉතිහාස බ්ලොග් එකක් නොවන නිසා මම ලොකු හාමුදුරුවෝ හොයාගෙන ගිහින් මේ ගැන කතාකරන්න ගියේ නැහැ. ඊළඟට යන කෙනෙකුට ඒක භාරයි.

දැන් පටන් ගම්මු මිනි එක එළවීම ගැන කතාව...

ලොකුම අභියෝගය තමයි වැඩ දැමීමේ ආසාව පාලනය කරගැනීම. මිනිස්සු යන එන පාරවල් වල 'වැඩ දාන එක' irresponsible වැඩක්. වැඩ දාන්න අවශ්‍ය නම් අපි කටුකුරුන්ද වගේ තැනකට යන්න ඕනේ. නමුත් මිනි එක වගේ සුපිරියට handling තියන කාර් එකක් ගත්තම සහ ඒ කාර් එක අරන් හොරණ සහ අගලවත්ත යා කරන පාර වගේ පාරකට ගියාම ඒක irresponsible වැඩක් කියලා මතක් කරගන්න පොඩි ආයාසයක් ගන්න වෙනවා. ඒ නිසා ඔය ආසාව මේ දවස් වල පාරේ තියන වළවල් බේරනවා වගේ සීමිත ක්‍රියාකාරකම් කීපයකට ලිමිට් කරලා තියෙන්නේ.




මගේ මිනි එක ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින් කරපු එකක්. ගමනේදී පහසු වුණාට මේකේ තියන ප්‍රශ්නේ තමයි road feel එක බින්දුවට බැහීම. කොටින්ම රෝද සහ පාර අතර සිද්ධවෙන සිපගැනීම් ක්‍රියාවලිය එළවන කෙනාගේ ඇඟිලි තුඩුවලට දැනෙන්නේ නැහැ. මේක එක්තරා දුරකට එළවීමේ සතුට වගේම ආරක්ෂාවත් සීමා කරන දෙයක්. මොකද ලොකු වංගුවක් ගනිද්දී අපට බැලන්ස් එකේ ඉන්න රෝඩ් ෆීල් එක ගොඩක් වැදගත්. වාහනේ මට කලින් පාවිච්චි කරපු කෙනා මේ ගැන අනතුරු අඟවලා මට දුන්නේ. හැබැයි මෙතෙක් නම් මට මිනි ආතල් එකට බාධා වෙන තරමට නම් ඒක දැනුණේ නැහැ.

මට නැවත නැවතත් පුදුම හිතෙන දේ තමයි 1950 දශකයේ අන්තිම කටේ තියලා අඩු වියදම් කාර් එකක් විදිහට ඩිසයින් කරපු මේ කාර් එක මේ තරම් හොඳට හැන්ඩ්ල් කරන්නේ කොහොමද කියන එක. 90 දශකේ වෙනකල් ජපානේදී මේ කාර් එක නිෂ්පාදනය වුණත් මූලික ඩිසයින් එකේ මහලොකු වෙනසක් වෙලා නැහැ. මම කියන්නේ ඉංජිනේරු විද්‍යාත්මක පැත්ත නෙමෙයි. ඒ ටික මට සාමාන්‍ය මට්ටමින් තේරෙනවා. මට පුදුම හිතෙන්නේ ඒ කාලේ sports කාර් නොවන අනික් කාර් එක්ක සංසන්දනය කරන කොට මේක මේ තරම් සුපිරි මට්ටමක පැවතීම.




මිනි ගැන කතාකරදී ගොඩක් දෙනෙක් කියන දෙනෙක් තමයි මිනි එක යන වේගෙට වඩා වේගෙන් යනවා වගේ දැනෙනවා කියන එක. එයාලා කියන හැටියට මේකත් මිනි එකේ සතුට දෙගුණ තෙගුණ වෙන්න හේතුවෙන පොයින්ට් එකක්. ඒක ඇත්ත කියලා මට පහුගිය දවස් ටිකේ හොඳට දැනුණා. මිනි එක කිසි අමාරුවක් නැතුව 100 ට කට්ටු කළාට, රේස් වලට විශේෂයෙන් හදලා නැත්නම් සහ තවත් අය වාහනේ ඉන්නවා නම්  ඊට එහාට මේක පුෂ් කරන එක හොඳ නැහැ කියන එක මට දැනෙනවා. (අනික් අතට අලුත් ජපන් Kei කාර් 660cc විතර පොඩි එන්ජින් තිබිලත් 100 පනින එක නවත්තන්න මීටරේ ඇහැ තියාගෙන ඉන්න ඕනේ. මේක තමයි කාලයේ වෙනස). හැබැයි මිනි එක 70 පනිනකොට දැනෙන්නේ 120 ට යනවා වගේ. සාමාන්‍යයෙන් කාගේත් ආරක්ෂාව ගැන හිතන කෙනෙක් විදිහට මට හිතෙන්නේ මිනි එකක් එළවන්න හොඳම ස්පීඩ් එක පැයට කිලෝමීටර් 70 - 80 කියලා. මේක කාගෙවත් ජීවිත අනතුරේ නොදා, අනික් කාර් බොහොමයකට වඩා සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් ස්පීඩ් එකක්.

ඒ වගේම මිනි එකේ turning radius එකත් බීට්ල් එකට සහ මයිනර් එකට වඩා හොඳයි. මේක ටවුන් ඇතුළේ එළවනකොට වැදගත් වෙනවා. බීට්ල් එළවන්න ගත්තු මුල් දවස් වල, ඊට කලින් එළවලා තිබුණු ලාන්සර් බොක්ස් එකේ පුරුද්දට යූ ටර්න් ගහන්න ගිහින් මම හිරවුණු වතාවල් තිබුණා. නමුත් මිනි එක එහෙම නැහැ. සමහර විට කාර් එක ප්‍රමාණයෙන් පොඩි වීමත් මේකට බලපානවා ඇති.




ගල්ලෙන විහාරෙට යනකොට ගියේ පාර දැනගෙන නොවන නිසා යනකොට පාරේ සතුට උපරිම විඳින්න බැරුව ගියා. නමුත් ආපහු එනකොට පාර ගැන හොඳ අවබෝධයක් තිබුණු නිසා කාර් එක පොඩ්ඩක් ලිමිට්ස් වලට පුෂ් කරන්න චාන්ස් එකක් ආවා. මම ක්‍රමක්‍රමයෙන් කාර් එකේ සතුටට මත්වෙමින් ඉන්න අතරවාරයේ කෞශි ගත්තු අපූරු වීඩියෝ එකක් තියනවා. ඒ වෙලාවේ පාරේ අවුවක් තිබ්බේ නැහැ. සවුන්ඩ් සිස්ටම් එකේ ප්ලේ වෙමින් තිබුණේ සෝමතිලක ජයමහගේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට ගීතය. පාර දුවන්නේ රබර් ගස් ඇතුළුව එක එක ගස් වලින් පිරුණු අපූරු නිල්ල නිලන යායක් මැද්දෙන්. මේ නිසා පාර සැඳෑ අඳුර ගලන වෙලාවට වගේ මඳ පමණින් අඳුරුයි. පාරේ වංගු sharp නැහැ, නමුත් handling වල රහ විඳින්න කැමති කෙනෙකුට අර චිකන් බත් එකට ලැබෙන තෙල්දාපු කරෝල කෑල්ල වගේ මට්ටමට වංගු තියෙනවා. වංගුවක් පේන මානෙදී මන්ද ස්වර වලට මාරු වෙමින්, වංගුව පාස් වෙද්දී ආපහු උච්ච ස්වරයට පිවිසෙමින් යකඩ සහ මනුස්ස ජීවිත අතර ආදර කතාව ළයාන්විතව ගයන එන්ජිමේ මනස්කාන්ත ඔපෙරාව ඒ වීඩියෝ එකේදී, ස්මාර්ට්ෆෝන් එකක pathetic මයික් එකකට පවා අහුවෙලා තියන හැටි හරිම අපූරුයි.

ජීවිතේ ආතතිය මැද්දේ තැළුණු මනසින් නින්දට යන්න හදන සමහර රාත්‍රී වලදී පවා ඒ ගීතය මගේ හිත ආයෙත් ආයෙත් සුවපත් කරනවා.





මෙතනදී කාර් පිස්සුව නිතර කියවන කෙනෙකුට මම බීට්ල් එකේ විසිල් සද්දේ ගැන නැවත නැවත කියපු දේවල් මතක් වෙන්න පුළුවන්. මිනි එක ගත්තු දවසේ ඉඳන් ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ දැන් බීට්ල් එක දෙනවද, දැන් බීට්ල් පිස්සුව චකබ්ලාස්ද, දැන් බීට්ල් එක මහලු නිවාසයකට දානවද වගේ ප්‍රශ්න. නැහැ, තාමත් මගේ හදවත තියෙන්නේ බීට්ල් එක ගාව. නමුත් බීට්ල් එක එළවීමේ සතුට සහ මිනි එක එළවීමේ සතුට සංසන්දය කරලා බ්ලොග් පෝස්ට් එකක් ලිවීම අවශ්‍යයි කියලා මට හිතෙනවා. 

ඒක කරන්න පුළුවන් එකම එක විදිහකට විතරයි. ඒ තමයි බීට්ල් එකත් එක්ක දුර ගමනක් ගිය පාරක, ඒ මුළු දුරම මිනි එකත් එක්ක යන එක...




සමහර විට ඒ ගමනේදී ෆැන්ටසි බිඳිලා යාවි. නැත්නම් ෆැන්ටසි රියැලිටි වේවි. සමහර විට අලුත් ප්‍රතිරූප හැදේවි. නැත්නම් පරණ ප්‍රතිරූප දේවත්වයට පත්වේවි.

එහෙමත් නැත්නම් ෆැන්ටසි වර්ග දෙකක් එකම හදවතක, එකම ජීවිතයක, එකම පාරක, එකම නුවරක, එකම විශ්වයක ජීවත් වෙන්න ගනීවී...

දෑස රිදුණට කමක් නැහැ. ඔයා කාර් පිස්සුවට ඇත්තටම ආදරේ නම්, පාර බලාගෙන ඉන්න...

තරිඳු ශ්‍රී ලොකුගමගේ
15.01.2018
www.facebook.com/CarPissuwa

(කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ ඡායාරූප සහ විස්තර ඇතුළු සියල්ල මගේ සහ කෞශිගේ. උපුටා ගන්න අවශ්‍ය නම් කියලා ගන්න. 'යාළුවෙකුගේ වෝල් එකෙන් ගත්තේ, මම හිතුවේ එයා ලිවුවා කියලා' වගේ ටොන් පහේ බොරු කියන්න එපා).